පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, August 26, 2017

බළන්ගොඩ ගල්ලෙනකින් හමු වූ යකාගේ සිතියම

                          


             ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අලෝකමත් කරන බොහෝ සාක්ෂි පසුගිය කාලයේදී සපරගමු පළාතෙන් ලැබිණ. මහාචාර්ය ශිරාන් දැරණියගල කල්තොට ආසන්නයේ බෙල්ලන් බැඳි පැලැස්සේ කරන ලද කැණීමකින් ආරම්භ කරන ලද මේ ගවේශණයන් බෙහෙවින්ම සම්පූර්ණත්වයකට පත් කරන ලද්දේ මහාචාර්ය රාජ් සෝමදේවයන් විසිනි. බළන්ගොඩ කූරගල බිම්තැන්නේ කිරිමකුල්ගොල්ල ගල්ලෙනක තිබූ අප්‍රකට ලෙන්ලිපියක කෙටි පාඨයකින් ඔහු මෙම පැරණි යුගයේ අයිතිකාරයන් වන්නේ යක්ෂයන් බවට විශේෂ අනාවරණයක් කළේය. එයින් නොනැවතුණු මහාචාර්ය වරයා  හල් දුම්මුල්ල හුණු ගලා ගල වැනි ගල්ලෙන් කැණීම් වලට ලක් කරමින් මෙම සංස්කෘතියේ සුවිශේෂතා කුමක්දැයි ශාස්ත්‍රීය දත්ත මගින් පෙන්වා දෙන ලදී. මෙම සංස්කෘතිය අවම වශයෙන් වසර හයදහසක් පැරණි බව ඔහු කාබන් නිර්ණයන් මගින් සනාථ කලේය.එසේම හුණු ගලා ගල කැණීමෙන් හමු වූ පුරාණ යාතු කර්ම සඳහා භාවිත වූ යෝනිගල අතීත මානවයාගේ දැනුම් පරාසය මෙන්ම සභ්‍යත්වය පිළිබඳවද ඉඟි පළ කළ බව සඳහන් කළ යුතුය. මීට වසර දෙකකට පමණ පෙර සිට ඔහු බළන්ගොඩ ඉළුක් කුඹුර ආසන්නයේ ලුණු ගල්ගේ අළු ගල්ගේ  සහ වවුල්ගල්ගේ  යන ස්ථාන වල කැණීම් වල නිරතව සිටී. එහිදී අනාවරණය වූ විශේෂතම කාරණය නම් මීට වසර හයදහසකට පමණ පෙර ලංකාවේ පුරාණ මිනිසුන් භාවිත කළ ධාන්‍ය වර්ග 35 ක් පිළිබඳ උද්භිද විශ්ලේශණයකට ප්‍රවිෂ්ට වීමයි. අඩක් පිලිස්සුනු වී ඇට සහ ධාන්‍ය මගින් කියැවෙන්නේ පුරාණ මිනිසා ගේ ආහාර සංස්කෘතියේ විවිධත්වයයි.දැන් ඔහුගේ නවතම සොයා ගැනීම සමාජය ඉදිරියේ අනාවරණය වී ඇත. බළන්ගොඩ ඉළුක් කුඹුරට නුදුරු පරගහමඩිත්ත පින්නගල කන්දේ බාදාහේන ගල්ගේ නම් ස්ථානයේ තිබී පුරාණ යක්ෂ ගෝත්‍රිකයන් විසින් නිර්මාණය කළ භූමි දර්ශනයක් නිරාවරණය කරගෙන තිබේ. මෙ සටහන ලියැවෙන්නේ ඒ සඳහාය.

          පරගහමඩිත්ත ගම්මානයට පිවිසිය හැකි මාර්ග දෙකක් ඇත. එකක් නම් ඕපනායක උඩවෙල මං සන්දියෙන් හැරී අකරැල්ල හරහා පරගහමඩිත්තට පැමිණීමයි. නැතහොත් බළන්ගොඩ ඉළුක් කුඹුර පනාන මාර්ගයේ පැමිණ පරගහමඩිත්තට ළඟා විය හැකිය.මෙම මාර්ග දෙකම සංවර්ධන නුවූ ග්‍රාමීය මාර්ගයන්ය.පරගහමඩිත්ත බාදාහේන ගල්ගෙයට පිවිසීමට ඉතා දුෂ්කර අඩිපාරක් ඔස්සේ පල්ලම් බැසිය යුතුය.මහාචාර්ය සෝමදේව මහතා ඇතුළු ශිෂ්‍ය කණ්ඩායම උදේ හවස මෙම අඩි පාර දිගේ පහළ ඉහළට යමින් කරන ගවේශණයට ගම්මුන් ගෙන් ලැබෙන සහයෝගයද ඉතා උසස් මට්ටමක පවතී. පරගහ මඩිත්ත පරමදර්ශනාරාමයේ පූජ්‍ය ගල්ඉන්නේ ධම්ම දේව ස්වාමීන් වහන්සේ ගේ මග පෙන්වීම යටතේ මහචාර්ය තුමන්ට ලැබෙන සහාය නොවන්නට මෙම අපූරු ගල්ගෙය සොයා ගැනීම ද දුෂ්කර විය හැකිව තිබුණි.
          මීටර දෙසීයක් පමණ එක දිගට දිවෙන බාදා හේන ගල්ලෙන පින්නගල කන්දේ පාමුළ පිහිටා ඇත. මීට කලින් මහාචාර්ය සෝමෙදේව මහතා විසින් ගවේශණය ට ලක් කළ අළුගල්ගේ මෙම කන්දට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටා තිබේ. ඒ අනුව නිගමනය කළ හැක්කේ මෙම කඳු වැටි සියල්ලකම බෑවුම් වල පැරණ මානවයාගේ වාසස්ථාන පිහිටා තිබෙන බවයි. පසුගිය මාසයේ මහාචාර්ය සෝමදේව මහතා ඉළුක්කුඹුරට නැවත පැමිණි පසු වවුල්ගල්ගේ  කැණීම් පටන් ගෙන ඇත. එම කැණීම් වලින්ද ධාන්‍ය වර්ග ගල් ආයුධ විශාල ප්‍රමණයක් මේ වන විට ලැබී ඇත.එසේම ලුණුගල්ගෙයින් ලැබුණු සිදුරු කීපයක් සහිත ගලට සමාන  ගලක් වවුල් ගල්ගෙයින්ද   ලැබීමෙන් ඇති වුණු කුතුහලය ඉමහත්ය. මෙතෙක් එවැනි ගල් ගැන තිබූ මතය නම් කැකුණ තැලීම සඳහා යොදා ගත් පහසු උපකරණයක් බවයි. නමුත් මහාචාර්ය තුමා සිය පරිකල්පනය මගින්  මෙම ප්‍රහේලිකාව විසඳන්නට ගත් උත්සාහය මත නව මතයක්ද ඉදිරිපත් කර තිබේ. ඒ නම් සෘතු භේදය හඳුනාගන්නට  පැරණියන් අහසේ තරුරටා ගලේ කොටවා යොදාගත් බව කියැවෙන මතයයි.එලෙස තරු රටා යොදාගත් පුරාණ මානවයන් ලෝකයේ විවිධ තැන් වල විසූ බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත.වවුල් ගල් ගේ කැණීම් වලින් පසු බාදාහේන ගල්ගේ ගවේශණයට යොමු වන්නට හේතු වූයේ ගැමියන් ගෙන් සහ පරගහමඩිත්ත විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ගෙන ලැබුණු ඔත්තුවක් අනුවයි. මෙහිදී  මහාචාර්ය තුමා ගේ මහත් කුතුහලයට ලක් වූයේ ගල් ලෙන මධ්‍ය යේ පැවති තරමකට විශාල  පිහිටි ගලක කොටන ලද සිදුරු සමූහයක් ඇස ගැටීමෙනි. මීට කලින් මෙවැනි ස්ථාන ගැන වාර්තා තබන මහාචාර්ය ශිරාන් දැරණයගල මහතාගේ අදහසද වූයේ පැරණි මානවයා විසින් මෙවැනි ගල් සිදුරු කැකුණ තැලීමට භාවිතා කළ බවයි. එහෙත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඊට වෙනස් මගක යමින් නව මතයක් දැන් සමාජ ගත කර තිබේ.එය මෙසේය.

    පැරණි මානවයා විසූ ගල්ලෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් රාශියක් විසිවන සියවසේ ලෝක ප්‍රකට පුරාවිද්‍යඥයන් ගේ පරීක්ෂාවට ලක්ව තබෙනවා.පුරාණයන්ගේ භූමි දර්ශන සටහන් ගැන ඔවුන් විශෙෂයෙන්ම ගවේශණය කරමින් නිශ්චිත අදහස් සමාජ ගත කර තිබෙනවා.කැතරිනා ස්මිත් නම් විද්‍යඥවරිය  (prehistoric cartography ) නම් නිබන්ධනයේ ගල් වල සහ මැටි පුවරු වල කොටන ලද භූමි දර්ශන ගැන අදහසක් පළ කොට තිබෙනවා 1920 දී මෙම ශිලා සටහන් ගැන කළ ගවේශණ එම කෘතියේ අන්තර්ගතයි.මෙම විද්‍යාඥයන් මේ සටහන් සඳහා යොදන්නේ ස්වප්න දර්ශන නාමයයි. පරගහමඩිත්ත බාදාහේන ගල්ලෙනෙන් අප මතු කරගත් සිදුරු සහිත පිහිටි ගල ලංකාවේ ප්‍රථම වතාවට හඳුනාගත් එවැනි භූමි දර්ශනයක් ලෙසට දැක්විය හැකියි.  දැන් මෙම භූමි දර්ශනය අප ප්‍රස්ථාර ගත කරමින් සිටිනවා. මෙම භූමි දර්ශනය මගින් හෙළිවන වැදගත්ම කාරණය නම්  කඳු වැටි බෑවුම් වල ජීවත් වූ අතීත මානවයා  ආහාර සහ දඩයම් සොයා යෑමට සහ භූමිය බෙදා හදා ගැනීමට කළ කළමනාකරණයි.  මෙම  සිදුරු සහිත ගලෙහි ස්පර්ශ ලාංඡනයත් අඳිනු ලබන  ප්‍රස්ථාරයත් අන්තර්ජාල සිතියම් මත ප්‍රක්ෂේපණය කිරීමෙන් මෙම ජීවන රටාව විද්‍යාත්මකව තේරුම් ගන්නට අප ඉදිරියේ බලාපොරොත්තු වන බව කිව යුතුයි. ක්‍රි.පූ.3000 සිට විජයාගමනය තෙක් කාලවකාවානුව තුළ අපගේ ඉතිහාසයේ ඇති හිඩැස පුරවන්නට මෙම කරුණු ඉවහල් වන බවද ප්‍රකාශ කළ යුතුයි.

         මහාචාර්ය සෝමදේව මහතා සොයාගත් මෙම සිතියම ගැන ගැමියන් ගේ ප්‍රකාශන විවිධය. ඔවුහු මෙයට හුලවාලියා වී කෙටූ ගල යයි කිවූහ. මහාචාර්ය තුමා ගේ ඇසින් බලා අප මෙයට යකාගේ සිතියම යයි කියමු. මෙහි සිදුරු යම් පරිමාණයකට කොටා ඇති බවද පෙනේ. පින්නගල කන්දේ බෑවුමේ පැවති ප්‍රධාන ගල් ලෙන් තුන ඊට නුදුරින් ඇති සිරස් අතට පිහිටි ගල් ලෙන් ලොකු සිදුරු වලින්ද ග්‍රීෂ්ම සෘතුවට යොදා ගත් වාසස්ථාන කුඩා සිදුරු වලින්ද සළකුණු කොට ඇති බව මහාචාර්ය තුමා පවසයි. ප්‍රධාන ගල්ලෙන් දෙකක් අතර පරිමාණය විග්ගුස්සකි.( අඟල් හතරහමාරයි).ප්‍රධාන සිදුරු තුනම එක් කර බලන කල්හි වියතකි. ඒ අතින් බලන කල්හි වසර හය දහසකට පෙරසිටි මානවයා  මැනුම් සැලසුම් කරන්නටද ආරම්භ කර ඇති බව කිව හැකිය. පසු කලයේදී වැව් අමුණු ආදී සංකීර්ණ තාක්ෂණික ව්‍යුහයන් සකස් කරන්නට ඇත්තේ මේ දැනුම් සම්භාරයේ විකාශනයෙනි.ඉතින් මෙවැනි දැනුම් සම්භාරයකට හිමිකම් කිවූ අතීත හෙළයාට අද ඇති තැන කුමක්ද මහාචාර්ය තුමා අපගෙන් අසන ප්‍රශ්ණය එයයි.


No comments:

Post a Comment